විෂාදය

මානසික අවපීඩන තත්වයේ රෝග ලක්ෂණ සංකීර්ණ වන අතර ඒවා පුද්ගලයාගෙන් පුද්ගලයාට විශාල විවිධත්වයක් පෙන්වයි. නමුත් පොදුවේ ගත් කල ඔබ මානසික අවපීඩන තත්වයකින් පෙලෙන විට ඔබට ශෝකී ස්වාභාවයක්, බලාපොරොත්තු රහිත බවක් සහ ඔබ පෙර කැමැතිව සිටි දේට අකමැති සිතෙන ස්වාභාවයක් ඇතිවිය හැකිය. මෙම රෝග ලක්ෂණ සති හෝ මාස ගණනක් පැවතිය හැකි අතර එමගින් ඔබගේ රැකියාවට, සමාජීය ජීවිතයට සහ පවුල් ජීවිතයට බලපෑම් ඇති කල හැකිය. මානසික අවපීඩන තත්වයේ රෝගී ලක්ෂණ තවදුරටත් පහතින් සඳහන් කර ඇති අතර ඔබට මෙම ලක්ෂණ සියල්ල එකවර ඇති නොවනු ඇත.

මනෝවිද්‍යාත්මක රෝගී ලක්ෂණ

මානසික අවපීඩන තත්වයේ මනෝවිද්‍යාත්මක රෝගී ලක්ෂණ පහත පරිදි වේ.

  • අඛණ්ඩව පවතින අඩු මනෝභාවය හෝ දුක්මුසු ස්වාභාවය
  • බලාපොරොත්තු රහිත ස්වභාවයක් සහ අසරණ ස්වභාවයක් දැනීම.
  • අඩු ආත්ම අභිමානයක් සහිත බව
  • කඳුලුබර ස්වාභාවයෙන් පසු වීම
  • වරදකාරී හැඟීමකින් පසු වීම
  • නොරුස්සනසුලු ස්වාභාවයකින් හා අන් අය නොඉවසන ස්වාභාවයකින් පසු වීම
  • අභිප්‍රායක් නොමැති බව හෝ කිසිවකට උනන්දුවක් නොමැති බව
  • තීරණ ගැනීමේ අපහසුව
  • ජීවිතයේ වින්දනයක් නොමැති බව
  • කාංසාව ස්වභාවයක් හෝ කණස්සලු ස්වාභාවයක් දැනීම
  • තම දිවි හානි කර ගැනීමට හෝ තමන්ට වෙනත් හානියක් කර ගැනීමට සිතුවිලි ඇතිවීම

කායික රෝගී ලක්ෂණ

මානසික අවපීඩන තත්වයේ කායික රෝගී ලක්ෂණ පහත පරිදි වේ:

  • ගමන් විලාසය හෝ කතා විලාසය වෙනදාට වඩා සෙමෙන් සිදු කිරීම
  • ආහාර රුචියේ හෝ ශරීර ස්කන්ධයෙහි වෙනසක් සිදු වීම (සාමානයයෙන් මෙහි අඩුවීමක් සිදුවන අතර සමහර අවස්ථා වලදී වැඩිවිය හැකිය)
  • මලබද්ධය
  • පැහැදිලි කල නොහැකි වේදනා සහ කැක්කුම් ඇතිවීම
  • ශරීර ශක්තිය හීන වීම
  • ලිංගික බෙලහීනතාව
  • ආර්ථව චක්‍රයේ වෙනස්කම් සිදුවීම
  • නින්දට බධා වීම. උදාහරණයක් ලෙස ඔබට රාත්‍රි කාලයට නිදා ගැනීමේ අපහසුවක් දැනීම හෝ අලුයම් කාලයේ නින්දෙන් අවදි වීම

සමාජීය රෝගී ලක්ෂණ

මානසික අවපීඩන තත්වයේ සමාජීය රෝගී ලක්ෂණ පහත පරිදි වේ:

  • රැකියා ස්ථානයේ වැඩ කටයුතු හොඳින් සිදු නොකිරීම.
  • මිතුරු ඇසුර මග හැරීම සහ සමාජීය ක්‍රියාකාරකම් සඳහා අඩු සහභාගීත්වයක් දැක්වීම.
  • විනෝදාංශ සහ වෙනදා ඇලුම්කල දේවල් නොසලකා හැරීම.
  • ඔබගේ පවුල් ජීවිතයේ විවිධ ගැටලු ඇති වීම.

මානසික අවපීඩන තත්වයේ අවධි

මානසික අවපීඩන තත්වය බොහෝ විට ක්‍රමක්‍රමයෙන් ඇති වන්නක් නිසා යම් පුද්ගලයෙකු තුල ඇතිවන වෙනසක් එක් වරම හඳුනා ගැනීමට අපහසු විය හැකිය. බොහෝ දෙනා තම රෝගී තත්වය පිලිබඳව අවබෝධයකින් තොරව රෝගී ලක්ෂණ දරාගනිමින් ජීවත් වීමට උත්සාහ කරති. නමුත් සමහර අවස්ථා වලදී ඔබගේ මිතුරෙකු හෝ පවුලේ අයෙකු ඔබ තුල ඇතිවන වෙනස් ස්වාභාවය හඳුනා ගත හැකිය. වෛද්‍යවරුන් විසින් විසින්, මානසික අවපීඩන තත්වය කොතරම් බරපතලද යන ස්වාභාවය සලකා එය විස්තර කරනු ලබයි.

  • සුලු මානසික අවපීඩන තත්වය-එමගින් ඔබේ එදිනෙදා ජීවිතයට යම් බලපෑමක් ඇත.
  • මද්‍යම මානසික අවපීඩන තත්වය- එමගින් ඔබේ එදිනෙදා ජීවිතයට සැලකිය යුතු බලපෑමක් ඇත.
  • අධික මානසික අවපීඩන තත්වය-ඔබගේ එදිනෙදා ජීවිත කටයුතු වලදී අතිශය අපහසුතා ඇතිවනු ඇත. අධික මානසික අවපීඩන තත්වයෙන් පෙලෙන සුලු පිරිසකට මනෝ ව්‍යාධික ලක්ෂණ ද ඇතිවිය හැකිය.

ශෝකය හා මානසික අවපීඩනය

ඇතැම් අවස්ථා වලදී, ශෝකී ස්වභාවය සහ මානසික අවපීඩන තත්වය අතර වෙනස හදුනාගැනීමට අපහසු විය හැකිය. එම තත්වයන් දෙක අතර බොහෝ සමානතා දැකිය හැකිය. නමුත් එහි වැදගත් අසමානතාවන්ද ඇත. ශෝකය යනු යම් අහිමිවීමක් කෙරෙහි ඇතිවන, සම්පූර්ණයෙන්ම ස්වාභාවික ප්‍රතිචාරයක් වන අතර මානසික අවපීඩන තත්වය යනු රෝගී තත්වයකි. ශෝකයෙන් පසුවන පුද්ගලයාට එම ශෝකී සිතුවිලි ඇතිව නැතිවන ස්වාභාවය දැනෙයි. නමුත් එසේ තිබියදී වුවද ඔවුන්ට යම් යම් දේවල් නිසා සතුටක් ලබන්නට හෝ අනාගතය පිලිබඳව බලාපොරොත්තු තබා ගන්නට හැකියාව ඇත. නමුත් මානසික අවපීඩන තත්වයෙන් පසුවන පුද්ගලයන් සැලකූ විට, ඔවුන්ට නොකඩවා දුක්මුසු ස්වභාවයක් දැනේ. ඔවුන්ට කිසිදු දෙයකින් සතුටක් නොදැනෙන අතර අනාගතය පිලිබඳව සුභදායී බලාපොරොත්තු තබා ගැනීමටද ඔවුන්ට අපහසුය.

මානසික අවපීඩන තත්වයේ වෙනත් වර්ග

මානසික අවපීඩන තත්වයේ විවිධ වර්ග ඇත. එසේම මානසික අවපීඩන තත්වය කිසියම් රෝගී තත්වයක රෝග ලක්ෂණයක් ලෙස ඇතිවිය හැකිය. ඒවා පහත පරිදි වේ.

  • පස්චාත් මාතෘ මානසික අවපීඩනය- සමහර කාන්තාවන්ට දරු උපතකට පසුව මානසික අවපීඩන තත්වයක් ඇති විය හැකිය. මෙය පස්චාත් මාතෘ මානසික අවපීඩනය යනුවෙන් හඳුන්වයි. එම තත්වයට අනෙකුත් මානසික අවපීඩන තත්වයන්ට ලෙසම චිකිත්සාවන් සහ ඖෂධ මගින් ප්‍රතිකාර කරනු ලබයි.
  • බයිපෝලර් මානසික අවපීඩන තත්වය- මෙය මේනියා තත්වය ලෙසින්ද හඳුන්වනු ලබයි.මෙහිදී,මානසික අවපීඩන තත්වය සමග, ආන්තික මනෝභාවයන් ඇතිවිය හැකිය.මෙහි මානසික අවපීඩන තත්වයේ රෝගී ලක්ෂණ සාමාන්‍ය තත්වයට සමාන වන නමුත් මේනියා තත්වයේදී පුද්ගලයා, සූදුවට යොමුවීම, අධික ලෙස මුදල් නාස්තිය සහ අනාරක්ෂිත ලිංගික සබඳතා පැවැත්වීම වැනි අන්තරාදායක චර්යා රටා වලට යොමු විය හැකිය.
  • සෘතුමය මානසික අවපීඩන තත්වය- මෙය ශිශිර මානසික අවපීඩන තත්වය ලෙසින්ද හඳුන්වයි. මෙහිදී, මානසික අවපීඩන තත්වය සෘතුමය රටාවකට ඇතිවන අතර සාමාන්යයෙන් ශිශිර සෘතුවට අදාලව ඇතිවෙයි.

ඔබ උපකාර පැතිය යුත්තේ කුමන අවස්ථාවේදීද?

ඔබට මානසික අවපීඩන තත්වයේ රෝගී ලක්ෂණ දවසේ වැඩි කාලයක් තුල හෝ, සෑම දවසකදීම හෝ, සති දෙකකට වඩා වැඩි කාලයක් තුල දැනේ නම් ඔබගේ වෛදයවරයා හමුවන්න. සුලු මානසික අවපාතයක් නම් කෙටි කාලයක් තුලදී යථා තත්වයට පත් විය හැකිය.